Wednesday, July 4, 2018

නෑසුණු වදන්

කවර නොදැමූ පොත
දැක කෝප වූ ගුරු සිත
ගෙන්වා අයිති කාරිය
අසයි නොදැමූ කාරිය

දෙමවුපියො නොබලුවෙද
දරුවො පොත ගරු නොකළෙද
දැරිය නිරුත්තර
බලයි බිම හිස පහත් කර

නැත මට මවුපියන්
සදා දෙන රස බොජුන්
පෙර පැය විසි හතර
මදි විය දමන්නට කවර

දෙනතුරු දැරිය පිළිතුරු
ඉවසා නොසිටි තැන ගුරු
පොත ගියේ ගුවනට
කඳුළු දී දැරි දෙනෙතට

සිර කර සියලු දුක්
හෙළා දුක් සුසුමක්
විඳගෙන රුදුරු දඬුවම
ඉවත ගියෙ ඈ නිහඬවම



Monday, July 2, 2018

Rainbow

She made it rain,
          when she was happy
He made it sunny,
          when he was happy
Together they were so happy,
          that they made a rainbow…

Sunday, January 31, 2016

පන්සලේ වග

හැම පෝයටම පන්සල් නොගියත් අද ආච්චි පන්සල පැත්තට ඇද්දුවෙ ඇගට  සනීපයක් දැනුන හින්ද. සිල් ගන්න ආපු උපාසක උපාසිකාවන්ගෙන් පිරිල තිබුණු ධර්ම ශාලාවේ ආච්චිත් කොනක් බලල වාඩි උනේ අහල පහල සිල් ඇත්තන්ගේ කතාවට ඇහුන් කන් දෙන ගමන්. සාකච්චාව යන්නෙ දන් දෙන හැටියි පින් කරන හැටියි ගැන. සමහරු කියනව මලක් පානක් පූජ කරනවට වඩා පින් සිද්ධ වෙනවලු පාරෙ යන හිඟන්නෙක්ට කීයක් හරි දුන්නම. ඊට වඩා පින්ලු හාමුදුරු නමකට දන් දුන්නම. හැබැයි පිංවන්ත හාමුදුරු  නමක් වෙන්න ඕනෙලු. සාංඝික කරලා ලොකුවට දානයක් දුන්නම ආත්ම ගානකට ඇති වෙන්න පින් රැස් කර ගත්තහැකිලු. යන දාක අරන් යන්න තියෙන්නේ ඔය පින් ටික විතරයිලු.
සල්ලි දීල දේපල වස්තුව රැස් කොරන එකෙයි දන් දීල පින් රැස් කොරන එකෙයි වෙනස මොකද්ද කියල කල්පනා කර කර ආච්චි උන්නු තැනින් නැගිටල බුලත් විටක් ගන්න කියල හිමින් සැරේ පාර පැත්තට අදුන. පන්සලේ ගේට්ටුව ලග උන්න උපාසක පින්වත්තු  පාර අයිනෙ උන්න හිඟන්නෙක් පෙන්නල කියපු කතාවක් ආච්චිගේ කනට වැටුනේ ඒ යද්දි. "ඔය මිනිස්සුන්ට  දෙන්න හොඳ නෑ, හැන්දෑවට ගිහින් ඔය සල්ලි වලින් බොනව". ආච්චි කල්පනා කළේ මිනිස්සු කොච්චර තදින් අල්ලන් ඉන්නවද කිව්වොත් දෙන දේ දුන්නට පස්සේ ඒකට වෙන දේ ගැනත් වද වෙන තරම ගැන. විට ගන්න තිබුන සල්ලි ටික හිඟන්නට දීල ආච්චි බෝ මලුව පැත්තට ගියා.
බොහොම උගත් පෙනුමක් තිබුන මහත්තුරු දෙන්නෙක් බරපතල ධර්ම කරුණු ගැන ලොකු විවාදෙක. දෙන්නම තමන්ගේ මතේ තදින් අල්ලාගෙන බොහොම සැරෙන් කතා කරනව. ලේන් තැටියෙන් කන්න ආපු ලේනෙකුත් සද්දෙට බයේ පැනල දිව්ව. ධර්මය උනත් තදින් අල්ලගත්තහම නිවන දුරට යන බව ලේනට උනත් තේරෙන්න ඇතිය කියලා ආච්චිට හිතුන. සුපුරුදු නිස්කලංක කම නැති හින්ද ආච්චිත් වැඩිය එතන රැඳුනේ නෑ.
පන්සලේ ඉස්සර තිබුණ නිස්කලංක කම දැන් නැතෙයි කියල කවුදෝ කියපු කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ කියල ආච්චිට හිතුන. ආච්චි නම් කිසිම දෙයක් හිතට ගන්නෙ නැති හින්ද, එහෙමයි කියල හිතේ නිස්කලංකෙ අඩුවක් උනේ නෑ. සුදුම සුදු පාට චෛත්යයි , කොළ පාටින් දළු හෙලවෙන බෝධියයි ඇස් දෙකට දෙන සුවයයි, කපුරු, හඳුන් කූරු, පහන් වැටි වල සුවදින් නහයට දැනෙන සුවයයි, සිනිදු වැල්ලෙන් දෙපතුලට දැනෙන සුවයයි ඒ නිස්කලංක බව තව ටිකක් වැඩි කළා විතරයි.
ආයෙ වතාවක් පන්සලට එන්න වාරු තියේවිද කියල සැක හින්ද අන්තිම වතාවටත් පන්සල දිහාට හැරිලා වන්දනා  කරපු ආච්චි සුපුරුදු ගමනින් පාරට බැහැල  ගෙදර යන්න පිටත් උනා.

Thursday, January 21, 2016

Living the Dreams

By the time she realized
      what they meant to her
               they were gone…
All she could do was
       living their DREAMS….

Monday, January 11, 2016

කුණු කන්ද

ආච්චි උදෙන්ම නැගිටල බුලත් විටක් හපන්න ගත්තෙ
කන්දට උඩින් පායල තියන ඉර දිහා බලාගෙන
පළාතටම තියන උසම කන්ද තමයි කුණු කන්ද
ඊයෙට වඩා අඟලක් උසට, අදත් වෙනද තැනම

උදෙන්ම පාරෙ මිනිස්සු එක්රැස් වෙන්නෙ
කන්ද අයින් කරන්න බලධාරීන්ට කියන්න උද්ඝෝෂණයට
ආච්චිත් ගිහින් හෙවනක් අල්ලගත්තෙ
මොකද වෙන්නෙ කියල බලන්න

මාධ්‍යට පේන්න උස්සන් කෑගහන්න
ලොකු පොලිතීන් බැනර් වල පොල්ගෙඩි අකුරෙන් පාඨ ලියල
එන අයගේ පිපාසය නිවන්න, ප්ලාස්ටික් වතුර බෝතල්
ලොරියක්ම පැත්තක නවත්තල
ඒ විතරක්ද, පුංචි සංග්‍රහයකුත් සිලි සිලි බෑග් වල දාල බෙදනව

හැන්දෑවෙ කළුවරත් එක්ක කට්ටිය වැඩේ ඉවර කරලා ගෙවල් වලට ගියා
ආච්චිත් නැගිට ගත්තෙ කළුවර වෙන්න කලින් ගෙදර යන්න කියල
එතකොටම නගරසභා ලොරියෙන් ඇවිල්ල
තැන තැන දාල තිබුණු බැනර්, බෝතල්, සිලි සිලි බෑග් එහෙම
එකතු කරන් ගිහින් කුණු කන්ද උඩටම ඇත ඇරිය

ආච්චි තවත් අඟලකින් උස ගියපු කුණු කන්ද
දිහා බල බල හිමින් සැරේ ගෙදරට ගෑටුව