Monday, January 11, 2016

කුණු කන්ද

ආච්චි උදෙන්ම නැගිටල බුලත් විටක් හපන්න ගත්තෙ
කන්දට උඩින් පායල තියන ඉර දිහා බලාගෙන
පළාතටම තියන උසම කන්ද තමයි කුණු කන්ද
ඊයෙට වඩා අඟලක් උසට, අදත් වෙනද තැනම

උදෙන්ම පාරෙ මිනිස්සු එක්රැස් වෙන්නෙ
කන්ද අයින් කරන්න බලධාරීන්ට කියන්න උද්ඝෝෂණයට
ආච්චිත් ගිහින් හෙවනක් අල්ලගත්තෙ
මොකද වෙන්නෙ කියල බලන්න

මාධ්‍යට පේන්න උස්සන් කෑගහන්න
ලොකු පොලිතීන් බැනර් වල පොල්ගෙඩි අකුරෙන් පාඨ ලියල
එන අයගේ පිපාසය නිවන්න, ප්ලාස්ටික් වතුර බෝතල්
ලොරියක්ම පැත්තක නවත්තල
ඒ විතරක්ද, පුංචි සංග්‍රහයකුත් සිලි සිලි බෑග් වල දාල බෙදනව

හැන්දෑවෙ කළුවරත් එක්ක කට්ටිය වැඩේ ඉවර කරලා ගෙවල් වලට ගියා
ආච්චිත් නැගිට ගත්තෙ කළුවර වෙන්න කලින් ගෙදර යන්න කියල
එතකොටම නගරසභා ලොරියෙන් ඇවිල්ල
තැන තැන දාල තිබුණු බැනර්, බෝතල්, සිලි සිලි බෑග් එහෙම
එකතු කරන් ගිහින් කුණු කන්ද උඩටම ඇත ඇරිය

ආච්චි තවත් අඟලකින් උස ගියපු කුණු කන්ද
දිහා බල බල හිමින් සැරේ ගෙදරට ගෑටුව

No comments:

Post a Comment